මගෙ පුස්තකාලයේ වෙනම තැනක් ඔබතුමාගෙ පොත්වලට දීලා තියෙන්නේ තිස්ස සර් ලියපු සංවේදී කතාව

 
සන්නස්ගල සර් සහ මගේ ටියුෂන් කලාව 
------------------------------------------------

මම සන්නස්ගල සර්ව හඳුනා ගන්නේ "මංජුල" නමැති මගේ පාසල් මිතුරෙකු මගින්(ඔහු මා ඉගෙනගත් බලංගොඩ පාසලේ මිත්‍රයෙක්). ඒ ඔහු එවකට "අරලිය" පත්තරේ, කොටස් වශයෙන් පළවෙච්ච "වස්සාන සිහිනය" කතාව කියවමින් සිටන අතරතුරදී. හඳුනා ගත්තා කීව්වට ඒ නමින් විතරයි. මංජුල මට ඒ කතාවේ කොටස් සියල්ලම කපලා පොතක් විදිහට හදලා දෙනවා. ඒ මම ඒ කාලේ උසස් පෙළ දෙවන වර විභාගය ලියලා ඉවර වෙලා තිබුන නිසා, මට කියවන්න. ඔහු එසේ සිදු කළේ " ඒ කතාව මගේ කතාවක් " ලෙස ඔහුට දැනිලා තිබුන නිසා. ඇත්තටම එහි බිඳවැටුණු මාගේ ප්‍රථම ප්‍රේමයට අදාල චරිත වල නම් ඒ විදිහටම තිබුනා. ඉතින් ඒ නිසාම මම ඒ කතාවේ ඔහු ලියාතිබුන හැම වචනයකටම ආදරය කලේ කතාවේ ජීවත්වෙන ගමන්.

සන්නස්ගල සර් දෙවනියට මට මුණගැහෙන්නේ  මගේ ජීවිතේ මම ටියුෂන් ගුරුවරයකු වෙච්ච අවස්ථාවේ ගම්පහ "සමාධි" ආයතනයේදී. ඒ කාලේ සර් පන්තියට ආවේ සුදු පාට "ඩොක්ටර් සනී" කාර් එහෙක.ඇත්තටම මම සර් එක්ක කතාබස් කළේ ඉතාමත් ආශාවෙන්.මට එතුමා ගැන ලොකු ගෞරවයක් තිබුනේ.

මම කැලණිය විශ්ව විද්‍යාලයේ දී ඉගෙන ගත්තේ ක්ෂුද්‍ර ජීව විද්‍යාව (92/92 UOK). හැබැයි මම උසස් පෙළ අවසන් කරලා කැම්පස් යන්න කලින් ටියුෂන් පන්ති පටන් ගත්තා. ඒ දවස්වල මට Zoology වත්, Botany වත් කරන්න අවස්ථාවක් හම්බුනේ නෑ. අහම්බෙන් ලැබුණු ඒ අවස්ථාවේ මට උගන්වන්න හම්බුනේ Agricultural Science. හැබැයි ඉතා කෙටි කාලයකින් මම ඒ විෂයේ සාර්ථක ගුරුවරයෙක් බවට පත්වුණා. ඒ නිසාම හුඟ දෙනෙක් හිතුවේ මම කෘෂි විද්‍යාව පිළිබඳ උපාධිධාරියෙක් කියලා.

1998 තමා අපේ උසස්පෙල විෂය ක්ෂේත්‍රයට Biology කියන විෂය එකතු වෙන්න.ඒ Zoology සහ Botany එකතුකරලා. ඉතින් Biology වලින් මුල්වරට විභාගය තිබ්බේ 2000 වසරේ.මේ වෙන කොටත් මං මගේ උපාධිය සම්පූර්ණ කරලා විශ්ව විද්‍යාලයෙන් ඉවත් වෙලා ඉවරයි(1996 තමා අපේ උපාධි ප්‍රදානෝත්සවය පැවැත්වුනේ). ඒ නිසා මේ කාලය මට හොඳම අවස්ථාවක් වුනා අලුත් විෂයට ප්‍රවේශයක් ගන්න. ඒ නිසා මම ජීව විද්‍යා විෂයට ප්‍රවේශ වෙමින් ක්‍රමයෙන් කෘෂි විද්‍යාව උගැන්වීමෙන් ඉවත් වුණා. ඒ කෘෂි විද්‍යාවේ ඇති අඩුපාඩුවක් හෝ එය බාල විෂයක්  නිසා නෙමේ. ඒ කාලේ මට තිබුණු ආර්ථික ප්‍රශ්න විසදගන්න, ඒ විෂය හදාරන සිසුන් සංඛ්‍යාව අඩු වුන නිසා, මට අවශ්‍ය ප්‍රමානවත් තරම් අදායමක් ඒ විෂය ඉගැන්වීමෙන් ලබා ගැනීමට නොහැකි වූ නිසා. අනෙක් අතට ඉතින් මගේ උපාදියත් ජීව විද්‍යා උපාදියක් නිසා.

නමුත් මම මේ ළඟදී සන්නස්ගල සර් අන්තර්ජාලයේ තබා තිබූ සටහනක් දැක්කා. ඒකේ තිබුනේ " තිස්ස ඔයා ඉස්සර කෘෂිකර්මය ඉගැන්නුවේ. ඔයාට බයලොජි එක්ක ගව පාලනය පැටලිලා" කියලා. ඒ ප්‍රකාශය ඇත්තටම මාව දුකට පත්කලා. ඇත්තටම මම කෘෂිකර්ම ඉගැන්වීම බාල වැඩක්ද? ඔහුගේ විෂයන් පිලිබද ඇති දැනුම පිළිබඳව ද මට දුකයි. උසස් පෙළ ඇත්තේ කෘෂි විද්‍යාව/ Agricultural Science  නමැති විෂයයි. කෘෂිකර්මය/ Agriculture  තියෙන්නේ සාමාන්‍ය පෙළ සහ ඉන් පහළ පංති වලට. ඒ එක්කම ඔහු එහි ලියා තිබුනා " මා දන්න විද්‍යාව අනූව " කියලත්. ඒකෙන්ම ඔහුගේ විද්‍යා දැනුම ගැන අවබෝධයක් ලබාගන්න පුලුවන්. දැනට ශ්‍රී ලංකාවේ කෘෂි විද්‍යාව උගන්වන ඔබගේද හිතවත් ගුරුවරුන්ගෙන් අහලා බලන්න , biology වලට වඩා සංකීර්ණ තැන් කොතෙක් කෘෂි විද්‍යාවේ තිබෙනවා ද කියාලා. 
ඔබ මගේ විද්‍යා දැනුම අවඥාවට ලක්කරාට කමක් නැහැ.
නමුත් "කෘෂි විද්‍යා" විෂය එලෙස අවඥාවට ලක් කරන්න එපා. එම විෂය ඉගෙනගන්න ළමයින්, එය උගන්වන ගුරුවරුන් අවඥාවට ලක් කරන්න එපා. අද පවතින තත්ත්වයත් එක්ක ශ්‍රී ලංකාවේ සියලුම දරුවන්ට එය අනිවාර්ය විෂයක් කරලා උගන්වන්න ඕනේ කියලයි මම අදහස් කරන්නේ. ඒ නිසා ඒ කරුන මට හුගක්ම රිද්දන්නේ ඔබ මාව අවඥාවට ලක් කරන්නට, එම විෂය අවඥාවට ලක් කිරීමයි. කිසිවකු හෝ සිංහල භාෂාව හා සාහිත්‍යය අවඥාවට ලක් කළහොත් ඔබට රිදෙන්නේ නැති බවද මම දන්නවා. ඒ ඇයි කියුවොත් ඔබ එයට ආදරය නැති නිසා. නමුත් මා ජීව විද්‍යාවට මෙන්ම කෘෂි විද්‍යාව ට ද එක ලෙස ආදරය කරමි. ගෞරව කරමි.නමුත් ඒවා හිසමුදුනේ තබා නොගනිමි.

විශ්වවිද්‍යාලයේ දී අපිට " Agricultural Biology" කියා විෂයක් ද, " Plant Biology " කියා විෂයක් ද අධ්‍යනය කිරීමට තියෙනවා. ඒ වක්කම උසස් පෙළ ජීව විද්‍යා නව විෂය නිර්දේශයේ 10 වන ඒකකය ව්‍යවහාරික ජීව විද්‍යාව ලෙස නම් කරලා තියෙනවා වගේම ඒකෙත් තියෙන්නේ කෘෂි විද්‍යා විෂය නිර්දේශයේ කොටස්.

මාගේ අදහස නම් පුද්ගලයකු හෙළාදැකීමට ඔබ වැනි ප්‍රමාණික උගතෙකු විෂයක් හෑල්ලූවට ලක් කිරීම නොකළ යුත්තක් යන්නයි.

ඔබ පිළිබඳ මා තුළ වූ ගෞරවය ඔබ මෙලෙස කෙලෙසීමට ලක් කර ගැනීම ගැන මට ඇත්තේ මහත් දුකකි. වසර 20 ක ටියුෂන් ඉතිහාසයේ මාගේ වේදිකාවේ ඔබ හෝ වෙනස් කිසිදු ටියුෂන් ගුරුවරයෙකු මා විවේචනය කර නැත. අපි ටියුෂන් මිතුරන් සමග කතා කරන වෙලාවල් වල, ඔබට වඩා වයසින් අඩු ඇතැම් මිතුරන් ඔබට " සන්නා" කියා කතාකරන විට (ඔබ නැති අවස්තාවල ) මම ඔවුනට බැන සිටියේ " ඇයි සන්නස්ගල සර් උබේ මස්සිනාද? " කියා අසමිනි. ඔබ බයිපාස් ශල්‍ය කර්මයෙන් පසු නුගේගොඩ රොටරි ශාලාවට පැමිණි අවස්ථාවේ හුග දෙනෙක් ඔබව බැලීමට නොපැමිනි මොහොතක මම එහි පැමිනියේ ඔබට මා තුල තිබූ ඒ ලැදියාව නිසාමය.ඔබ නොදන්නා තවත් කරුණක් ඇත,ඒ මාගේ පුද්ගලික පුස්තකාලයේ තනි රාක්කයක්ම අයිතිකරගෙන සිටින්නේ ඔබ පමනක්ම වීමය. ඒ සියල්ල මා කියවූ ඔබේ අදහස්/ පොත්ය. ඔබ මාගේ ටියුශන් වීරයන්ගෙන් එක් අයෙකි. ඔබගේ අදහස් හා මාගේ අදහස් සමහර අවස්ථාවලදී පරස්පරය. නමුත් ඔබ සමඟ මට වෛරයක් නැත. ඔබ සැබෑම වැඩ්ඩෙකි. නමුත් ඔබේ සියලු භාවිතයන් මම අනුමත නොකරමි. මම මගේ අදහස් කියනවා විනා ඔබට පෞද්ගලිකව මඩ ගැසීමක් සිදුකර නැත. 

ඔබ ඔබේ අදහස් ඔබේ පන්තියේ ළමයින්ට කියයි. එක් කලෙක ඔබ "ප්‍රභාකරන්ගේ ශුක්‍රාණුවක්" හෙව්වා මට මතකය. එවිට මම ඔබට, පොඩි උන්ට කුනුහරුප කියන්න එපා, පොඩි උන් නොමග යවන්න එපා කියා කීවේ නැත. එයට හේතුව ඒ ඔබේ " දැක්ම " නිසාය. ඔබ හිතන් ඉන්නේ ඒ ඔබේ දැක්ම, ඔබේ සියලුම ළමයින් පිළිගන්නවා කියාද? නැහැ. ඒ වගේම තමයි මම කියන දේ මගේ ළමයි සියලුම දෙනා කොහොමත් පිළිගන්නේ නෑ. පිළිගන්න ඕනෙත් නෑ. මොකද උන් සයන්ස් කාරයෝ නිසා. අනික මම ළමයින්ව ප්‍රශ්න කිරීමෙන් වලක්වලා නෑ. ඒක මගෙන් ඉගෙන ගත්ත, පන්ති ඉවර වෙලා පන්තියේ දොර ඉස්සරහට වෙලා  මම එනකම් බලන් ඉදපු හැම ළමයෙක් වගේම ඔවුන්ව පන්තියෙන් ගෙදර එක්කන් යන්න බලන් ඉදපු දෙමව්පියනුත් ප්‍රත්‍යක්ෂයෙන්ම දන්නවා. අපි ළමයින්ව පුරුදු කළේ ප්‍රශ්න කරන්නමයි. 

හැබැයි ජාන ගැන, පරිණාමය ගැන, මානව විද්‍යාව ගැන, ජාන කිටුව (Gene Pool), ජාන සංඛ්‍යාතය, DNA විශ්ලේෂණය, මයිටකොන්ඩ්‍රියා DNA විශ්ලේෂණය මගින් ලැබෙන පරිණාමික සාක්ෂි පිළිබඳ ඔබ ප්‍රසිද්ධියේ වාද කර ගැනීමට උත්සාහ කිරීම නොකළ යුත්තක්මය. රුධිර ඝන සහ ජාන සම්බන්ධයත්, ලංකාවේ අමුතු විදියේ රුධිර ඝන (උදා: බොම්බේ ගෲප් ) පිලිබඳවත් ඔබේ අර කුඩ්ඩාගෙන් අසා දැනගන්න. අපට මේ කරුණු පිළිබඳව වාදයක් අවශ්‍ය නම් අප සැබැවින්ම කළ යුත්තේ, එකතුවෙලා ප්‍රසිද්ධ නොවන සංවාදයක් සුහදව පවත්වා එහි නිගමනය දරුවන්ට කියා දීමය. ප්‍රසිද්ධ සංවාදයකට යෑම නොහැකි දෙයකුත් නොවේ. එහිදී කාගේ රෙදි ගැලවුණත් ළමුන්ට සහ බලා සිටින අයට පෙනෙන්නේ ටියුෂන් කාරයන් දෙදෙනෙකුගෙන් එකෙක්ගේ හෙළුව බව අවධාරණයෙන් මතක තබාගන්න. ඔබ සමාජ මාධ්‍ය  ඔස්සේ පිදුරු දමා ඇවිල වූ මේ ගින්න පිලිබදව බොහෝ සමාජ මාධ්‍ය ක්‍රියාකරීන් මාගෙන් විමසුවද මා ඒවාට ප්‍රතිචාර නොදී බලා සිටියද, අවසානයේ මම ඇතැම් අයට පිලිතුරු දීමට තීරනය කලේ මට ඔබ සමග පැටලීමට ඇති උවමනාවක් නිසා නොවේ. අපගේ අදහස් නිසා විරසක විය හැකි අනෙකා පිලිබද උපේක්ෂාවෙන් සිතීමෙන් අනතුරුවයි.

අවසාන වශයෙන් මා යෝජනා කර සිටින්නේ, ඔබ අහස හොඳට පැහැදිලි දවසක රෑ අහස දිහා නිදහසේ බලා සිටින්න. ඒ පෙනෙන තරු බොහෝමයක් සූර්යයන්. ඒ හැම සූර්යයෙකුටම  ග්‍රහලෝක ඇති බව මතක් කරන්න. මේ අනන්ත වූ විශ්වයේ සැඟවී ඇති "දැනුම" සමග ඔබත් මමත් දන්නා දැනුම සංසන්දනය කරන්න. එතකොට සන්නස්ගලත්, තිස්සත් කියන්නේ තිතකින්වත් ලකුණු කරලා පෙන්නන්න පුළුවන් පොරවල්ද කියලා ඔබටම වැටහේවි.

-  තිස්ස ජනනායක -

ප.ලි : ව්‍යාකරණ සහ අක්ෂර වින්‍යාස වැරදි ඇතොත් සමාවන්න. මක්නිසාදයත් මම ඔබ තරම් මෙම විෂයෙහි දක්ෂයෙකු නොවුන නිසාය.

උපුටාගැනීම තිස්ස ජනනායක සර්ගෙ පිටුවෙන්

1 comment:

කොරියාවේ හැමදෙයක් ගැනම කරන විඩියෝ බලන්න මෙතනින් අපෙ youtube චැනල් එකට සෙට්වෙන්න